About Us

‘සෑම දරුවකුම ඔප කළ යුතු මැණිකකි..’

 ‘சிறார்கள்  அனைவருமே  பட்டை தீட்டினால்  வைரங்களே..’

  ‘EVERY CHILD IS A GEM IN THE ROUGH..’
 – යහපත් අධ්‍යාපනයක් සඳහා වූ සංවිධානය –

 

යහපත් අධ්‍යාපනයක් සඳහා වූ අපේ සිහිනය..

යහපත් අධ්‍යාපනයක් සඳහා වූ සංවිධානය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ මූලික ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට අවශ්‍ය මහජන දැනුම්වත්භාවය නංවාලීමේ හා තීරණාත්මක ව බලපාන පාර්ශ්වකරුවන් පෙළැඹවීමේ අපේක්ෂාවෙනි.

සෑම පුද්ගලයෙකුට ම ධනය, තත්වය හා වරප්‍රසාද නොසලකා, ජාතිකත්වය, පංතිය, කුලය හා ස්ත්‍රී පුරුෂභාවය ද නොසලකා ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවීතය ගත කිරීම පිණිස, ඔවුන්ගේ සහජ නිර්මාණාත්මක හැකියාවන්ට අනුව හා ඔවුන්ගේ තෝරා ගැනීම්වලට අනුව වෘත්තියක් කරගෙන යාමට ඇති පූජනීය අයිතිය ස්ථාපිත කළ යුතුව ඇත. ආත්ම විශ්වාසයෙන් සපිරි සැබෑ මානවවාදී ජීවිතයක් සඳහා ඔවුන් බලගැන්විය යුතුව ඇත. එම පුළුල් ක්‍රියාදාමය සඳහා අද උපදින ළදරුවා,  මව් කුසයේ සිට ම මානසිකව ද, ශාරීරිකව ද, සමාජයීයව ද සංවර්ධනය කළ යුතුව ඇත. දරුවාගේ හැකියාවන් හා තෝරා ගැනීම් හඳුනා ගනිමින් සර්වාංශීයව සංවර්ධනය කළ යුතුව ඇත.

නමුත්, එවන් සාධාරණ හා සබුද්ධික, සර්වාංශීය අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබා දීමට දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අසමත් වී තිබේ. ඒ වෙනුවට පවතින ක්‍රමය විසින්, ඉහතින් සඳහන් කළ සියලු ම ප්‍රභේදයන්ට අදාලව වෙනස් කොට සැළකීම උත්සන්න කර තිබේ. ජනතාවගෙන් අති බහුතරයකට තම තෝරා ගැනීම්වලට අනුව අධ්‍යාපනයක් ලැබීමේ, තම අනාගතය තීරණය කිරීමේ හා තම අපේක්ෂාවන් ඉටු කරගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කර තිබේ. ළදරුවාගේ පටන් සෑම පුද්ගලයෙකු ම හුදෙක් පැවැත්ම සඳහා වූ අනුකම්පා විරහිත තරඟයකට/අරගලයකට ඇද දමා තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ හැමෙකාම හැමෙකාට ම එරෙහිව/සතුරුව පැවැත්ම සඳහා පොර වදිනු ලබන පරමාණුකරණීය වූ, කෑලි කැබලි වූ, බෙදී ගිය හා පරාරෝපිත සමාජයක් පැවතීම ය.

සැබෑ ස්වාධීනත්වයේ, සමෘද්ධියේ හා නිදහසේ නව යුගයක් කරා අපේ සමාජය හා ජනතාව මෙහෙයවීමේ නව අධ්‍යාපන සංකල්පයක් සූත්‍රණය කරනු පිණිස, අපි අපේ අධ්‍යාපනය පිළිබඳ දැක්ම සමාජ සංවර්ධනයේ හා මානව විමුක්තියේ මාවතෙහි දර්ශනයක් ලෙස නිරවුල් ව ප්‍රකාශයට පත් කරන්නෙමු. අප එසේ කරන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමයේ රැඩිකල් ප්‍රතිව්‍යුහකරණයක් සඳහා වන අපේ යෝජනා ඉදිරිපත් කිරීමේ පදනමක් ලෙසයි. පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ගැඹුරු  විවේචනයක් ඉදිරිපත් කරනු පිණිස වන රාමුවක් හා නිදර්ශනයක් සැපයීමේ මාර්ගයක් ලෙසයි.

අධ්‍යාපනය පිළිබඳ අපේ දර්ශනය පෙර පාසල්, පාසල් හා විශ්වවිද්‍යාල වැනි විධිමත් අධ්‍යාපන ආයතනයන් හි භාවිතයට ගන්නා වූ පවතින අධ්‍යාපන ක්‍රමයට වෙනස් ව නැගී සිටී. අධ්‍යාපනය ගත් කල ව්‍යවස්ථාමය වශයෙන් හා දේශපාලනමය වශයෙන් පිළිගත් විශ්වීය මූලික මානව හිමිකමකි. එසේ වුවත් මෙම අයිතිය පවා පවතින අධ්‍යාපන ක්‍රමය මගින් දැඩි ලෙස උල්ලංඝණය කරමින් සිටී. අපගේ ප්‍රවේශයේ දී මෙම අයිතිය පිළිබඳ පවතින වාස්තවික තත්වය විග්‍රහ කිරීමට අපේක්ෂා කරමු.

යහපත් අධ්‍යාපනයක් සඳහා වූ සංවිධානය උපන්නේ හා හැදී වැඩුනේ යහපත් ලෝකයක් පිළිබඳ දක්මක් තුළ ය. ලෝකයේ ජනතාව නිදහස් ව හා දැනුම්වත් ව මහ පොළොව බෙදා හදා ගන්නා වූ ද, අවිද්‍යාවේ හා බහු මුහුණත් බන්ධනයේ විශ්වීය යදම්වලින් මිදීම සඳහා මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සිය සම්පූර්ණ නිර්මාණාත්මක ශක්‍යතාව දායක කරන්නා වූ ද නව යුගයක් පිළිබඳ දැක්මක් තුළ ය. කිසිඳු ආකාරයක ආධිපත්‍යයක් හෝ සූරාකෑමක්, තණ්හාවක් හෝ මාන්නයක්, රැවටීමක් හෝ වංචාවක් හෝ හිංසාකාරී මර්දනයක්  වෙනුවෙන් හේතු යුක්තියක් නොවනු ඇති, අවබෝධය මගින් ප්‍රබුද්ධත්වයට පත් හා දයාව මගින් මෙහෙයවෙන ලෝකයක් පිළිබඳ දැක්මක් තුළ ය. අපව වෙන් කරන හා යටත් බවට පත් කරන බෙදීම්, සීමා හා බාධකවලට ඉහළින් නැගී සිටින ලෝකයක් පිළිබඳ දැක්මක් තුළ ය. අපි, සදහටම එක-නොබෙදිය හැකි පවුලක් ලෙස සහයෝගීතාවයෙන් එකට එක් විය යුතු වෙමු. එලෙස අපේ සැබෑ මානවීයත්වය සොයා ගත යුතු වෙමු. ‘සර්වාංශීය ව ගොඩනැගූ අධ්‍යාපනය’ එම දීප්තිමත් නව නිදහස් ලෝකයට පාලමක් ලෙස අපි දකිමු.

Leave a comment