Category Archives: විශේෂ

අධ්‍යාපනයට අදාළව, උල්ලංඝණීය නීති අණ – පනත් සහ සාධනීය චක්‍රලේඛ.

blog_education_act_wordle

දරුවා උදෙසා ම කැප වූ පාසල් පද්ධතියක් ද, අධ්‍යාපන වෘත්තීය කණ්ඩායම් ද, මව් පියන් ද එකට පෙළ ගස්වමින් දේශයේ දරුවන් ලොවට වැඩදායී – ආදරය හඳුනන සැබෑ නිපුණයින් බවට පත් කරන්නට මඟ පෙන්වන සාධනීය චක්‍රලේඛ හා උපදෙස් පත්‍රිකා විශාල ප්‍රමාණයක් මළ ලේඛණ බවට පත් කරමින් නාමික ව පමණක් නඩත්තු කරන බව අපි දුටුවා. සැබැවින්ම, එම සාධනීය ලේඛණ වලට ජීවය ලබා දිය යුතුයි. ඒවා නිසි ලෙස පවත්වා ගත යුතුයි. විශිෂ්ට අධ්‍යාපන පද්ධතියක පැවැත්ම වෙනුවෙන් එම ලේඛණ අතිශයින්ම වැදගත් වන නිසා ම, අපි හඳුනාගත් ඒ සාධනීය චක්‍රලේඛ – උපදෙස් පත්‍රිකා සහ අණ – පණත් හතළිස් තුන, මෙසේ සටහන් කරනවා. රටේ දරුවන්ට අඳුරු අනාගතයක් උරුම කරන්නට නිහඬ කොටස් කරුවෙක් නොවී, තමන්ගෙ දරුවන් වෙනුවෙන් හැබෑවටම යුතුකම් ඉටු කිරීම සඳහා පෙළ ගැසෙන්නට, මේ චක්‍රලේඛ සහ අණ – පණත් පිළිබඳව දැනුවත් වීම ඔබටත් වැදගත් වේවි.

හඳුනාගත් සාධනීය චක්‍රලේඛ – උපදෙස් පත්‍රිකා සහ අණ – පණත් හතළිස් තුන.

  1. පාසල පදනම් කරගත් තක්සේරු (ඇගැයීම්) වැඩ පිළිවෙල, චක්‍රලේඛ අංක 2004/ 27
  2. ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය, චක්‍රලේඛ අංක 2007/ 20
  3. ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම් වල ක්‍රියාකාරිත්වය, චක්‍රලේඛ අංක 2008/ 41
  4. අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත්බද කළමනාකරණ හා ප්‍රමිති ඒකක වල කාර්යභාරය, චක්‍රලේඛ අංක 2005/ 22
  5. පාසල නගා සිටුවීමේ නියාමන වැඩ සටහන, චක්‍රලේඛ අංක 2005/ 24
  6. අ:පො:ස: (උ/පෙ) විෂය සංයෝජනය හා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වූ විෂය සංයෝජනය, චක්‍රලේඛ අංක 2009/ 16
  7. පාසල් සංවර්ධන සමිති ක්‍රියාත්මක කිරීම, චක්‍රලේඛ අංක 1982/ 2
  8. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා වූ නව ඇගැයීම් හා නියාමන වැඩ පිළිවෙල, චක්‍රලේඛ අංක 2008/ 6
  9. පාසල තුළ විනය ආරක්ෂා කිරීම, චක්‍රලේඛ අංක 2005/ 17
  10. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අනුමත විෂය මාලා ක්‍රියාත්මක කිරීම – (6-9) සහ (10-11) ශ්‍රේණි, චක්‍රලේඛ අංක 1999/ 45
  11. පාසල පදනම් කරගත් ඇගැයීම් වැඩ පිළිවෙල, චක්‍රලේඛ අංක 2002/ 23
  12. සදාචාරාත්මක නව  ශ්‍රී ලංකාවක්, චක්‍රලේඛ අංක 2006/ 3
  13. සාරධර්ම හර පද්ධතීන් හා ප්‍රජා සංවේදීතාව පිළිබඳ වැඩ සටහන, චක්‍රලේඛ අංක 2004/ 22
  14. ද්විතීයික 6-11 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම, චක්‍රලේඛ අංක 2006/ 9
  15. උසස් වීම් පටිපාටිය සංශෝධනය කිරීම, චක්‍රලේඛ අංක 2005/ 4
  16. ආයතන සංග්‍රහයේ 2 වන කාණ්ඩයේ III වන පරිච්ඡේදය, මාරු වීම්
  17. ආයතන සංග්‍රහයේ III වන පරිච්ඡේදයේ රජයේ සේවකයන්ගේ වැරදි පිළිබඳ උපලේඛනය
  18. පංච විධ සංකල්පය පාසල තුළ ක්‍රියාත්මක කිරීම
  19. තත්ත්ව කව හා පංති කව
  20. ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ලබා ගැනීම සඳහා වන ස්වයං ඇගැයීම් වාර්තාව
  21. පාසල් අධ්‍යාපන ප්‍රමිති සහ බාහිර ඇගැයීම් පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
  22. පාසල් පරිපාලනයේ දුර්වලතා මග හරවා ගැනීම
  23. සිංහල සහ දෙමළ අත් අකුරු ලිවීම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය හා ක්‍රියාකාරකම් අත් පොත
  24. අභ්‍යන්තර ඇගැයීම් පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය
  25. පාසල් පද්ධතියේ මනෝ සමාජයීය මැදිහත් වීම් සඳහා වූ සම්පත් අත් පොත
  26. පාසල් චර්යා ධර්ම පද්ධතිය
  27. පාසල් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම
  28. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව
  29. ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථා සංග්‍රහය
  30. ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 වන පංතියේ 3 වන ශ්‍රේණියේ සිට උසස් වීම් සඳහා වූ වෘත්තීය සමාලෝචන ස්වයං වාර්තාව
  31. ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීම
  32. අනිවාර්ය අධ්‍යාපන නියෝග
  33. පාසල් පෝෂිත ප්‍රදේශ තීරණය කිරීම
  34. ගුණාත්මක යෙදවුම් මුදල්
  35. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වූ 1998 අධ්‍යාපන ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙල
  36. ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය
  37. අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයන් සඳහන් කැබිනට් පත්‍රිකා
  38. 1992 දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව හා එහි අන්තර්ගත පොදු ජාතික අරමුණු හා ජාතික අරමුණු කරා එළඹීමේ අවම පොදු නිපුණතාවන්
  39. 1968 අංක 25 දරණ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පනත
  40. 1985 අංක 28 දරණ ජාතික අධ්‍යාපන ආයතන පනත
  41. 1987 – 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අධ්‍යාපනයට අදාල කොටස
  42. 1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත
  43. තත්ත්ව සහතික කරන හා ප්‍රමිති ඒකකයේ කාර්ය භාරයන්

මෙම සාධනීය නීති – රීති, චක්‍රලේඛ හා උපදෙස් පත්‍රිකා 43 මත පිහිටා කටයුතු කිරීමට දේශයේ අධ්‍යාපන බලධාරීන් සමත් උනා නම්, ශ්‍රී ලංකාව මේ වන විටත් ජාතික අරමුණු වෙත එළැඹී අවසානයි. ඇත්තෙන්ම එහෙම උනා නම්  මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිවාදී ගිනි පුළිඟු වලින් සැබෑ ලෙසම නිදහස් වූ හිත් ඇතිව, හැබෑ සමගියෙන් හා ආදරෙන් එකා වගේ ජීවත් වෙනවා. නමුත් අද, ප්‍රභාකරන් මරා දමා ඊළාම් යුද්ධය දිනුවත්, අපිට ද්‍රවිඩ ජනතාවගේ හදවත් දිනා ගන්න බැරි වෙලා තිබෙනවා. දෙවන ඊලාම් යුද්ධයට මඟ සැකසෙමින් තිබෙනවා.

මේ මොහොතේ වත් අපි අප්‍රමාදීව අපේ අධ්‍යාපන ක්‍රියාවලියට නිසි ලෙස මග පෙන්විය යුතුයි. ඒ සඳහා වන ජාතික අරමුණු වෙතට ශ්‍රී ලාංකික විද්වතුන් තමන්ගේ අවධානය යොමු කළේ දකුණේ තරුණ කැරැල්ලේ ප්‍රතිඵලයක් හැටියටයි – රෝහණ විජේවීර ඇතුලුව දේශයට වැඩදායී තරුණ තරුණියන් හැට දහසකට අධික ප්‍රමාණයක් දකුණේදී මරා දැමූ දෙවන තරුණ කැරැල්ල වැනි කැරැල්ලකට නැවතත් දේශයේ තරුණ තරුණියන් යොමු නොවීම පිණිසයි. ඒ සඳහා අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කරන්නට ජනාධිපතිවරයාට උපදෙස් දෙමින් ජාතික අරමුණු මත අධ්‍යාපනය මෙහෙයවීමට අදාළ පළමු වාර්තාව නිකුත් කළේ 1992 වසරේදී යි. ඒ, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව ලෙසයි. ඒ වාර්තාව නිකුත් වී මේ වන විට වසර 21 ක් ඉක්ම ගොස් තිබෙනවා. ඒ වාර්තාව පදනම් කරගෙන නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය දේශයට හඳුන්වා දී වසර 15 ක් ඉක්ම ගොස් තිබෙනවා. නමුත් අද වන තුරුත් 1992 දී නිකුත් කරනු ලැබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව හෝ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ 1998 දී හඳුන්වා දුන් නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය හෝ මේ රට තුළ යථාර්තයක් බවට පත් කිරීමට අදාල බලධාරීන් ප්‍රමුඛ අධ්‍යාපන වෘත්තිකයන් නිසි ලෙස කටයුතු කර නැහැ. අධ්‍යාපන වෘත්තිකයන්ට අදාල වෘත්තීය සංවිධාන ද සංවිධානය වී කටයුතු කර තිබෙන්නේ අධ්‍යාපන වෘත්තියේ සංවර්ධනය සඳහා නොවෙයි. හුදු වෘත්තිකයන්ගේ ආත්ම ලාභය සඳහා ම පමණයි. අපි මීට පෙර ඉදිරිපත් කළ උල්ලංඝණීය නීති, අණ – පනත් සහ සාධනීය චක්‍රලේඛමීට කදිම නිදසුනක්.

Leave a comment

Filed under විශේෂ

ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු.

pic5

1989 තරුණ කැරැල්ල පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා පත් කළ තරුණ අසහන කොමිසම විසින් අවධාරණය කළේ, 1971 තරුණ කැරැල්ල සිදු වූ අවස්ථාවේ දී අධ්‍යාපනයේ ගැඹුරු වෙනස්කම් සඳහා  යෝජනා කරන ලද ක්‍රියාකාරකම් අත්හැර තිබීම මේ දෙවන තරුණ කැරැල්ලට ප්‍රධානතම හේතුව බවයි.  එම නිසා වහාම නැවත නැවතත් තරුණ කැරලි සහ ජාතිවාදී – ආගම්වාදී කලකෝලාහල ඇතිවීම වැලැක්වීම සඳහා මව් කුසේ පටන් ම අධ්‍යාපනයේ යෝධ පරිවර්තනයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් එම කොමිසම විසින් අවධාරණය කළා. ඒ මත පදනම් ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දීමට 1992 දී පත් කළ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව විසින්, දරුවා තුළ චරිතායනය කළ යුතු ජාතික අරමුණු සමාජ ගත කළා.

ජාතික අරමුණු.

  1. ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම.
  2. පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම.
  3. දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම.
  4. එක් වරම ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ලැබීමට මග සලසන්නා වූත් ජීවනෝපායන් හා රැකියා අවස්ථා සොයා ගැනීම.
  5. රටේ සමාජයීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයෙහි සහභාගීත්වය.
  6. ජාතියක් ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම.
  7. වෙනස් වීම් වලට ගැලපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම. (ඉගෙනීම හා වෙනස්වීම ඇති කිරීමේ නියාමක ශක්තිය උදා කර ගැනීම.)
  8. ව්‍යාකූල වූත් අනපේක්ෂිත වූත් අවස්ථා වලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම.
  9. ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත් පත් කර ගැනීම.

මේ ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීම ඉතා ම පහසු කටයුත්තක්. ඒ සඳහා අපේ දරුවන්ට අධ්‍යාපනය ඔස්සේ ලබා දිය යුත්තේ ප්‍රමිතීන් 60 ක් පමණයි. ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීමට ඇති එක ම සහ පහසු ම ක්‍රමයත් මේ ප්‍රමිතීන් 60 දරුවන්ට ලබා දීමයි. මේ කටයුත්ත කරගත්තොත් ප්‍රතිඵලය දරුවන්ට විතරක් නෙවෙයි, මුළු රටටමයි.

Leave a comment

Filed under විශේෂ

ජාතික අරමුණු වෙත එළඹීම සඳහා අධ්‍යාපනය ඔස්සේ ලබා දිය යුතු ප්‍රමිතීන් 60..

education

1992 දී නිකුත් කළ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව විසින් ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු සමාජ ගත කළා. එම ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීම දරුවන්ට විතරක් නෙවෙයි, රටක් හැටියට මුළු ශ්‍රී ලංකාවේම යහපතට හේතු වෙනවා. මේ ජාතික අරමුණු දරුවන් තුළ චරිතායනය කිරීම එකවර කළ හැක්කක් නෙවෙයි. ඒ සඳහා අධ්‍යාපනය ඔස්සේ දරුවන්ට ලබා දිය යුතු ප්‍රමිතීන් 60 ක් තිබෙනවා. පියවරෙන් පියවර මෙම ප්‍රමිතීන් 60 දරුවන්ට ලබා දෙන්නට අපේ අධ්‍යාපන ක්‍රියාවලියට හැකි උනොත් ජාතික අරමුණු අපේ දරුවන්ගෙ ඇඟට ම කාවද්දන එක මහ අමාරු කාරියක් වෙන්නෙ නැහැ.

ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම.

  • ‘විශ්ව සමාජය පසුබිම් කරගත් ශ්‍රී ලාංකීය ජාතිය’ යන සංකල්පයේ වටිනාකම අවබෝධ කර ගැනීම හා අගය කිරීම.
  • ජාතියේ උන්නතියට හා සේවයට කැපවීමෙන් ජාත්‍යාලය පිළිබඳ දැඩි හැඟීමක් ඇති කරලීම. 
  • ශ්‍රී ලාංකීය ජාතිය සාරවත් කිරීම සඳහා සියළුම ජනවාර්ගික කණ්ඩායම් වල හා ආගම් වල සංස්කෘතික සම්ප්‍රදායන්ගේ දායකත්වය අගය කොට සැලකීම.
  • ජාතික ඒකාබද්ධතාවය පවත්වාගෙන යාම පිණිස සංස්කෘතික අගය කිරීම හා භාෂාවට ඇති ස්ථානය ගැන සංවේදී වීම.
  • තමන්ගේ ආගම අවබෝධ කර ගැනීම හා ඒ අනුව පිළිපැදීම.

පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම.

  • සමාජ සාධාරණත්වයේ වැදගත්කම හා විෂමතා තුරන් කිරීමේ වටිනාකම අවබෝධ කර ගැනීම හා සංවේදී වීම.
  • පෞද්ගලික වගකීම හා හේතු දැක්වීම ට බැඳී සිටීම පිළිබඳ හැඟීම.
  • අවංකවත්, ගෞරවාන්විත ලෙසත් ගණුදෙනු කිරීමට ශක්තියක් තිබීම.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ අවබෝධය හා සාධාරණත්වය පිළිබඳ හැඟීම.

දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම.

  • ජීවිතයේ හා ඉටු කරන කටයුතු වල දී සාරධර්ම උකහා ගැනීමේ අවබෝධය හා සංවේදීතාව පිළිබඳව සැළකිල්ලක් දැක්වීම.
  • අනාගතය සඳහා දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය හා සංවේදීතාව.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අභිවෘද්ධිය පිණිස නිරන්තරව දියුණු වීමේ ආකල්පයක් ඇති කර ගැනීම.
  • ශාරීරික – මානසික සෞඛ්‍යය සඳහා ප්‍රයෝජනවත් වන සේ විවේකය හා විනෝදය උපයෝගී කර ගැනීම.
  • පරිසරයේ සමබරතාවක් තිබීමේ අවශ්‍යතාව වටහා ගැනීම.
  • පරිසරය සංරක්ෂණය උදෙසා නිර්මාණශීලී ව සහභාගී වීමට ඇති කැමැත්ත.

එක් වරම ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ලැබීමට මග සලසන්නා වූත් ජීවනෝපායන් හා රැකියා අවස්ථා සොයා ගැනීම.

  • ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ගෙන දෙන්නා වූත් රැකියා අවස්ථා සහ ජීවන මාර්ග පිළිබඳ අවබෝධය.
  • අවංක හා ඵලදායී උත්සාහයන් මගින් තමන් හා සිය පවුලට අවශ්‍ය ධනෝපායන කටයුතු සපුරා ගැනීමේ ශක්තිය.
  • අන්‍යේන්‍ය වශයෙන් ආධාර වන, තෘප්තිකර සම්බන්ධතාවන් පිහිටුවා ගැනීම.
  • මානසික හා ශාරීරික වශයෙන් අනවශ්‍ය බර නොපැටවෙන සේ ජීවිතය හා කාර්යයන් පවත්වාගෙන යාම.
  • ලබා ගත හැකි සම්පත් වලට අනුකූල වන පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ගැලපීම හා දැරිය හැකි ජීවන රටාවකින් සෑහීමකට පත් වීම.
  • ඉතිරි කර ගැනීමේ හා ඥාණාන්විත ව ආයෝජනය කිරීමේ ශක්තිය.
  • පෞද්ගලික දියුණුව සඳහා ක්‍රියාත්මක කළ හැකි උපායමාර්ග සකස් කර ගැනීමේ ශක්තිය.
  • ජීවිතයේ දී හා කටයුතු කිරීමේ දී හරය පිළිබඳ ව හැඟීමක් තිබීම.

රටේ සමාජයීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයෙහි සහභාගීත්වය.

  • ජාතික සංවර්ධනයේ වැදගත් අංශ පිළිබඳ අවබෝධය හා ඒවාට සහභාගී විය හැකි ක්‍රම පිළිබඳ අවබෝධය.
  • ජාතික ව්‍යාපාරයන් හි නිරත වන උනන්දු වූත්, දක්ෂ වූත් සේවක පිරිසකගේ ක්‍රියාකාරිත්වය.
  • විවිධ කාර්ය පසුබිම් වල කළමනාකරණ අධීක්ෂණ හා විශේෂඥ පිරිස් හඳුනා ගැනීම තුළින් සඵල කළමනාකරණයක වැදගත්කම තේරුම් ගැනීම.
  • අවස්ථාවන්ට අවශ්‍ය වන පරිදි ජාතික හා අනෙකුත් භාෂා ස්වෝත්සාහයෙන් හැදෑරීමේ ක්‍රම හා මග පෙන්වීම් තෝරා ගැනීමේ ශක්තිය.
  • පුද්ගලයින් සතු ස්වයං රැකියා වලට යොමු වීමේ සහ උසස් වීමේ විධිමත් හා අවිධිමත් මාර්ග පිළිබඳ අවබෝධය හා ඒවා භාවිතා කිරීමේ ශක්තිය.

ජාතියක් ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම.

  • අනුන් ගැන සැළකිලිමත් වීමට හුරු වීම.
  • එකිනෙකා පිළිබඳ ව සැළකිලිමත් වීමේ ගැඹුරු හා ස්ථිර හැඟීමක් ඇති කර ගැනීම.
  • තමන්ගේ මෙන් ම අන්‍යයන්ගේත් සංස්කෘතීන් වටහා ගැනීම හා ඒවා අගය කොට සැළකීම.
  • සියලුම ආගම් හා ඇදහිලි ක්‍රම පිළිබඳ ව හැඟීම හා ඒ පිළිබඳ ව අවබෝධයෙන් ඇති වන ගෞරවය.
  • අන්‍යයන්ගේ දෘෂ්ටීන් හා අවශ්‍යතාවයන් ගැන සැළකිළිමත් වීම.
  • සහයෝගයෙන්, ඉවසිල්ලෙන් හා එකඟතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව.
  • තමන්ගේ හා අන්‍යයන්ගේ අභිවෘද්ධිය පිළිබඳ හැඟීම් හා මානව සීමාකම් හඳුනාගෙන කටයුතු කිරීම.
  • ඒකපාර්ශ්වික හා හිතුවක්කාර ක්‍රියා වළක්වාලමින් පොදු එකඟතාවයන් හා අන්‍යෝන්‍ය සම්මුතිවලට එළඹීමේ ආකාරයන් පිළිබඳ අවබෝධය.
  • උපදෙස් ලබා ගැනීමේ, අදහස් දැක්වීමේ හා වගකීමක් ඇතිව කෙරෙන නිර්මාණශීලී විවේචනයේ වැදගත්කම අවබෝධ කර ගැනීමේ හා එවැනි ක්‍රියාකාරිත්වයන්ට අනුබල දීමේ හැකියාව.
  • උද්‍යෝගයෙන් හා ඉතා සුලු කරුණු සම්බන්ධව පවා සැළකිලිමත් ව අවස්ථානුකූල ව ක්‍රියා කිරීමේ ශක්තිය.
  • කාර්යයන්හි සහභාගී වන සියලු දෙනා තුළ ගැඹුරු ලෙස හා ස්ථාවර ව කටයුතු කරවීමේ හා උනන්දුව ජනිත කරවීමේ ශක්තිය.

වෙනස් වීම් වලට ගැලපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම. (ඉගෙනීම හා වෙනස්වීම ඇති කිරීමේ නියාමක ශක්තිය උදා කර ගැනීම.)

  • ශීඝ්‍ර වෙනස්වීම් පිළිබඳව අවබෝධය, ඒ පිළිබඳව සැළකිලිමත් වීම හා එවැනි අවස්ථා වලදී අනුගමනය කළ යුතු විවිධ විකල්ප ක්‍රම පිළිබඳව අපේක්ෂා සහිත වීම.
  • ස්වභාවික හා කෘත්‍රිම ව්‍යසනයන්ට සූදානම් ව සිටීම අගය කොට සැළකීම හා පුද්ගලයන් විසින් හෝ කණ්ඩායම් විසින් හෝ ජාතික ආයතන විසින් හෝ අපේක්ෂාවෙන් හා සාමුහිකත්වයෙන් කෙරෙන ක්‍රියා.
  • සිදු වී තිබෙන අලාභ, හානි හා ආපදාවන් සම්බන්ධයෙන් වන කනස්සල්ලෙන් වැළකීම හා ඵලදායී වන අලුත් ක්‍රියාවන් ආරම්භ කිරීමට ඇති දක්ෂතාව.
  • නව හැකියාවන්, විකල්ප අවස්ථාවන් පිළිබඳ අධ්‍යයනයන් කිරීම හා යල්පැන ගිය දේත්, නිෂ්ඵල දේත් අත්හැරීම.
  • ජීවත් වීමට හා පැවැත්මට ආධාරක වන අංගෝපාංග සම්පාදනය කර ගැනීමේ ශක්තිය.

ව්‍යාකූල වූත් අනපේක්ෂිත වූත් අවස්ථා වලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම.

  • ව්‍යාකූල වූත්, අස්ථිර වූත් ලෝකයේ ස්වභාවය හා අනාගතයේ දී එම තත්වයන් තවත් උග්‍ර වීමට හැකි බව දැන සිටීම.
  • ආරක්ෂිතභාවය හා ස්ථාවරභාවය කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් ඇති කර ගැනීමත්, අවදානම්, අනතුරු, ආපදා, අසමර්ථ වීම්, ක්‍රම සම්පාදනයේ දී හා යෝජනා සකස් කිරීමේ දීත්, තීරණ ගැනීමේ දීත් ඇති විය හැකි වැරදි ගැන රැකවරණ සකස් කර ගැනීම.
  • ඉහත සඳහන් තත්වයන් තුළ යාවත්කාලීන කළ යුතු හා  ළඟ තබාගත යුතු තොරතුරු වලට සංවේදී වෙමින්, එම තොරතුරු වල අවශ්‍යතාවය හඳුනා ගැනීමත් –  විශේෂයෙන් ළමා වියේ දී මානසික වූත්, ශාරීරික වූත් හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයත්, ආබාධ – බෝවන රෝග ආදියටත්, පීඩනයට හා කම්පනයටත් ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනගා ගැනීම.
  • අපතේ හැරීම් හා වෙනත් අනවශ්‍ය ප්‍රතිඵල පාලනය කරගැනීමේ ශක්තිය.
  • දූෂණ හා දුක් ගැනවිලි මතු වන බව දැන සිටීම හා ඒවා නිවැරදි කිරීමට සුදුසු ප්‍රතිකර්ම යෙදීමේ හැකියාව.
  • නීතිමය සහන සහ නෛතික ආරක්ෂාව පිළිබඳ අවබෝධය, ඒ සම්බන්ධයෙන් දක්ෂ හා ක්‍රියාශීලී පියවර ගැනීමේ හැකියාව.
  • අප්‍රමාදව හා අපක්ෂපාතීව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට හා අවශ්‍ය වූ විට අභියාචනා පටිපාටීන් සුලබ ව ලබා ගැනීමට හා ඒ සඳහා වියදම් දැරීමට ඇති හැකියාව.

ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත් පත් කර ගැනීම.

  • ජාත්‍යන්තර ප්‍රජාව පිළිබඳ අවබෝධය හා බලය, ආර්ථිකය, වෙළ හෙළඳාම් ආදී අංශ වලින් තම රට අන්තර් ජාතික ක්ෂේත්‍රයේ හිමි කර ගන්නා තැන ගැන හැඟීම.
  • මිනිස් ජීවිතය හා මානව අයිතීන් පිළිබඳ අවබෝධය.
  • ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල ඵලදායී බව, උද්දීප්තිමත් බව ගැන දැන සිටීම.
  • නොයෙක් කොටස් වලට අයිති සංස්කෘතික හා සමාජයීය ජීවන රටාවන් හි විවිධත්වය හා සාරවත් භාවය අවබෝධ කර ගැනීම.
  • අන්තර්ජාතික සහයෝගීතාව හා තරඟකාරීත්වයේ වැදගත්කම හඳුනා ගැනීම.
  • නොයෙක් අංශයන්ගෙන් උසස් ජීවන තත්වයන් අත්පත් කර ගැනීම.
  • ජාතික ප්‍රතිපත්ති වල යෝග්‍යතාව අදාලත්වය හා සීමාවන් පිළිබඳ අවබෝධය.
  • ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන භාණ්ඩ වල හා සේවා වල තත්වයේ වැදගත්කම හඳුනා ගැනීම.
  • රට වෙනුවෙන් අන්තර්ජාතික සමුළු වලදී පෙනී සිටින කළමණාකරුවන්, තාක්ෂණඥයින්, තානාපතිවරුන්, දේශපාලනඥයින් හා ආගම්, සාහිත්‍ය, කලා, විද්‍යාව, අධ්‍යාපනය කර්මාන්ත හා වෙළඳාම් යන අංශයන් නියෝජනය කරන අය තුළ අවංකභාවය, නිපුණත්වය හා බුද්ධිමය උසස් තත්වය පවත්වා ගැනීම.

ඇත්ත වශයෙන්ම රටක අධ්‍යාපන ක්‍රමය පවතින්න ඕන රටේ දියුණුවට ශක්තියක් වෙන දරුවො හදන්න මිසක් කියවන්න – ලියන්න විතරක් දන්න, කුසලතා රහිත, රට ගැන කිසිම හැඟීමක් නැති අර්ධ රොබෝවරු හදන්න නෙවෙයි. ඒක එහෙම නම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට සිදුවෙනවා, අනිවාර්යයෙන්ම මේ ප්‍රමිතීන් 60 අපේ දරුවන්ට ලබා දෙන්න. ඒ, මේ ප්‍රමිතීන් 60 මඟ හැරලා ජාතික අරමුණු දිහාවට හැරෙන්න කොහොමටවත් ම බැරි නිසා. අවුරුදු 13 ක් ඉස්කෝලෙ යන අපේ දරුවන්ට, හැබෑ මිනිස්කම හඳුනන – රටට වැඩක් ඇති දරුවො වෙන්න, ඉස්කෝලෙන් ලබා දිය යුත්තේ මේ ප්‍රමිතීන් 60 විතරයි. අවුරුදු 13 ක් තිස්සේ ප්‍රමිතීන් 60ක් විතරක් ලබා දෙන්නට අපේ අධ්‍යාපන ක්‍රමයට හැකි වෙනවා නම් ඇත්තටම මේ රට, උණ්ඩ – ගල් වලින් මිදිලා මල් වැහි වහින රටක් බවට පත් වේවි.

Leave a comment

Filed under විශේෂ

යහපාලනයක් සඳහා වන ප්‍රමිතියකින් යුතු මානවයෙකු බිහි වන අධ්‍යාපනයක් තුළින් දරුවාට සපයන අවම පොදු නිපුනතා 5..

images (18)   ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලියේ පටන් ම මෙම නිපුනතා 5 මානවයාට ලබාදීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ 1992 දී   පළ     වූ වාර්තාවෙන් යෝජනා කර ඇත. එය එසේ කර තිබෙන්නේ අධ්‍යාපන මනෝ විද්‍යානුකූලව ය. ළමා සංවර්ධන අවධීන්ට අනුකූලව ය. අධ්‍යාපන විද්‍යාවට අදාළ ප්‍රධාන විෂය පථ දහතුනකට අනුකූලව ය. මෙම අවම පොදු නිපුනතාවයන් වෙත පැමිණි මානවයා මූලික මානව ප්‍රමිතීන් තිරසාර ලෙස තමන් සන්තක කරගත් මානවයෙකි.

  1. සන්නිවේදනය පිළිබඳ නිපුනතාව
  2. පරිසරයට අදාල නිපුනතාව
  3. ආචාරධර්ම වලට අදාල නිපුනතාව
  4. ක්‍රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව
  5. ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුනතාව

සන්නිවේදනය පිළිබඳ නිපුනතාව

මෙය, සාක්ෂරතාවය, ගණනය  හා මානනය, රූපනය යන නිපුනතාවයන් තුනෙන් සමන්විත ය. මෙම නිපුනතාවයන්  තුන ද නැවත කොටස් කරමින් වර්ධනය කරමින් අනාගත පරපුර සතු කිරීම අධ්‍යාපනඥයන් සතු වගකීමකි.

  • සාක්ෂරතාවය

කල්පනා කිරීම, සවන් දීම, පැහැදිලි උච්චාරණය, අර්ථය අවබෝධ වන පරිදි කියවීම, නිවැරදි හා පැහැදිලි ලිවීම යන නිපුනතාවයන් පහ හුවමාරු කරගැනීම     සාක්ෂරතාවයට අයත් ය.

  • ගණනය  හා මානනය

ඉලක්කම් භාවිතය, කාලය හා අවකාශය ගණන් කිරීම, ගණන් බැලීම, ක්‍රමානුකූලව මැනීම යන නිපුනතාවයන් පහ හුවමාරු කරගැනීම ගණනය හා මානනයට ඇතුළත්  වනු ඇත.

  • රූපනය

රූප සටහන් අවබෝධ කරගැනීම, රූප සටහන්  භාවිතයෙන් අදහස් ඉදිරිපත් කිරීම, රූප සටහනකින්- ආකෘතියකින්- වර්ණ වලින්- විස්තර, උපදෙස් හා අදහස් ප්‍රකාශ කිරිම  සහ සටහන් කිරීම යන නිපුනතාවයන් හය රූපනයට ඇතුළත් වනු ඇත.

පරිසරයට අදාල නිපුනතාව

මෙම නිපුනතාවය සමාජයීය, ජීව විද්‍යාත්මක, භෞතික පරිසර වශයෙන් කොටස් තුනකි.

  • සමජයීය පරිසරය

පොදු සමාජයේ සාමාජිකයෙකු ලෙස, සමාජ සම්බන්ධතා, පෞද්ගලික හැසිරිම්, සාමාන්‍ය හා නීතිමය සම්මානයන්, අ‍යිතිවාසිකම්, නෛතික පැවරුම්, වගකීම්, යුතුකම් යන නිපුනතාවයන් හත පිලිබඳ දැනුවත්  භාවයකින් යුතු සංවේදී හැගීම් ඇතිකර ගැනීම.

  • ජීව විද්‍යාත්මක පරිසරය

සජීවි ලෝකය, මනුෂ්‍යත්වය, පරිසර පද්ධතිය, ගස්, කැලෑ, මුහුදු ජලය, වායුව හා ජීවය, පැළෑටි, සත්ව හා මනුෂ්‍ය ජීවය යනාදි බොහෝ දෙයට සම්බන්ධ වූ හැගීම් හා කුසලතා අත්පත් කරගැනිම.

  • භෞතික පරිසරය

අවකාශය- බලශක්තිය- ඉන්ධන හා ද්‍රව්‍ය පිළිබඳ නිපුනතාවය හා ඒ පිළිබඳ අවබෝධය ද, මිනිස් ජීවිතයට සම්බන්ධ භාණ්ඩ- ආහාර- රෙදි පිළි- නිවාස- සෞඛ්‍යය- නින්ද- ගිමන් හැරීම- විවේකය යනාදී බොහෝ දෙයට සම්බන්ධ වූ හැඟීම් හා කුසලතාවන් ද, ඉගෙනීමට හා ජීවත් වීමට කොතෙකුත් දේ සකස් කරගැනීම පිණිස උපකරණ භාවිතා කිරීමේ කුසලතාවය ද අත්පත් කරගැනීම.

ආචාරධර්ම වලට අදාල නිපුනතාව.

මෙම නිපුනතාවය මිනිසුන් ශීලාචාර කිරීමේ හා සමාජය ශිෂ්ට සම්පන්න කිරීමේ ආකල්ප සංවර්ධනයට බොහෝ දුරට අදාල වනු ඇත. මිනිසාගේ ගුණාත්මකභාවය වර්ධනය කරන සදාචාරධර්ම, වෙනස් ආගමික ඉගැන්වීම්, මතවාද, වත් පිළිවෙත්, පුද පූජා, එදිනෙදා පැවැත්වෙන සිරිත් විරිත්, විවිධ ගති පැවතුම් හා ඒවාට අනුකූල වන පරිදි වෙනස්කම් වලට ගරු කරමින් හා වෙනස්කම් වින්දනය කරමින් කටයුතු කිරීමට තමා තුළ ඇති කරගත යුතු වර්ධනයන් මෙම නිපුනතාවය සාක්ෂාත් කිරීමට අවශ්‍ය අවම සාධක වෙති.

ක්‍රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව.

සතුට හා එවැනි මානසික පෙළඹවීම් සපුරාලීම සඳහා වන සහභාගීත්වය මෙම නිපුනතාවය හා සම්බන්ධ වේ. විවිධ ක්‍රීඩා පිළිබඳව ද, ක්‍රීඩා කිරීම් පිළිබඳව ද, විවේක අවස්ථා ගත කිරීම පිළිබඳව ද, ශාරීරික හා මානසික සංවර්ධනය සඳහා එම අවස්ථා යොදාගැනීම පිළිබඳව ද මෙම නිපුනතාවය අදාල වේ. කණ්ඩායම් වශයෙන් ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ද, සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ද, ජීවිතය වින්දනය කිරීම සඳහා ද, ජීවිතය පවත්වාගෙන යාමේ දී සාධාරණ තරඟකාරීත්වයක් පවත්වාගෙන යාම සඳහා ද, සෞන්දර්ය- අධ්‍යයන- කලා- නාට්‍ය- සාහිත්‍යමය පර්යේෂණ හා වෙනත් නිෂ්පාදනාත්මක කාර්යයන් සඳහා ද මෙම නිපුනතාව සාක්ෂාත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

ඉගෙනීම පිළිබඳ නිපුනතාව.

නිරන්තරයෙන් වෙනස් වන සංකීර්ණ නව ලෝක රටාව තුළ ජගත් මිනිසෙකු වීම යන සංකල්පය සමඟ මෙම නිපුනතාව සෘජුවම සම්බන්ධ වේ. අභියෝග වලට එළඹීම සඳහා  මූලික සංකල්ප මත පදනම් ව අභියෝග අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම, සංස්ලේෂණය කිරීම, නිගමන වලට එළඹීම, නිගමන පිළිබඳ නැවත අධ්‍යයනය කිරීම, නිගමන ක්‍රියාවන් බවට පත් කිරීම, ක්‍රියාවන් සඳහා ක්‍රමෝපායන් සහ උපක්‍රම සැලසුම් කිරීම, ප්‍රතිඵලය පිළිබඳ පූර්ව අවබෝධයක් ඇති කර ගැනීම, ප්‍රතිඵල සැලසුම් කිරීම, වෙනස් කිරීම, උගත් දේ නැවත සමීක්ෂණය කිරීම, යාවත්කාලීන කිරීම, ඒ පිළිබඳ දිගටම සිත යොමුකර සිටීමේ ශක්තිය පිළිබඳ අවබෝධය, ඕනෑම අවස්ථාවක ඉතාම සුළු දේ සම්බන්ධව පවා සැලකිලිමත් වීමට ඇති දැඩි කැමත්ත හා ජීවිත කාලය පුරාම කුමක් හෝ යමක් ඉගෙනීමට ඇති සූදානම ඉගෙනීම පිළිබඳ නිපුනතාවයේ ප්‍රධාන ලක්ෂණයන් වෙති.

– ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව ඇසුරෙනි –

Leave a comment

Filed under විශේෂ